සටහන – සමන් රණවකආරච්චි
වර්ණ භේද වාදය නිසා දකුණු අප්රිකාවට දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ජගත් ක්රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු විය.මෙම කාල සීමාව තුලදි ඉතා විශාල වශයෙන් මුදල් ගෙවා පිට රට කණ්ඩායම් ඔවුන්ගේ රටට ගෙන්වාගෙන ක්රිකට් තරඟ පැවැත්වීය.මේවා හඳුන්වනු ලැබුවේ කැරළිකාර සංචාර ලෙසිනි. එංගලන්තය, බ.ඉ.කොදෙව් කණ්ඩායම් මෙන්ම බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායමක්ද මෙලෙස දකුණු අප්රිකාවේ තරඟ සංචාරයක නිරත විය.මෙය මෙරට ක්ෂේත්රය හරහා හමා ගිය දැවැන්තම සුළි කුණාටුව ලෙස හැඳින්විය හැකිය. මෙමගින් මෙරට ක්රිකට් වලට සිදු වුණු හානිය ඉතා විශාලය.මෙම සංචාරයට එක් වූ බන්දුල වර්ණපුර,හේමන්ත දේවප්රිිය , මහේෂ් ගුණතිලක, ලලිත් කලුපෙරුම,අනුර රණසිංහ,ෆ්ලෙමිංග් අපෝන්සු,නිර්මාල් හෙට්ටියාරච්චි,අජිත් ද සිල්වා වැනි සුපිරි ක්රීඩකයින්ගෙ ක්රිකට් දිවිය එතකින් අවසන් වූ අතර එමගින් මෙරට ක්රිකට් වලට සිදු වූ පාඩුව කියා නිම කල නොහැකි තරම්ය.
මේ පිළිබඳව බොහෝ දෙනෙකු බන්දුල වර්ණපුරට චෝදනා එල්ල කලද මෙහි මහ මොළකරු ටෝනි ඔ්පාතය.මෙය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව 1984 වසරේ පෙබරවාරි මාසයේ කල්පනා සඟරාව සමඟ කළ සම්මුක සාකච්ඡාවක දී කරුණු හෙළි කර තිබිණි.මෙම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ පාලිත පෙරේරා විසිනි.
“ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් සහ පාලක මණ්ඩලය අතර වර්ධනය වෙමින් ආ විශ්වාසනීයත්වයෙන් තොර බව සහ අස්ථීර ක්රීඩා තත්වය දිනෙන් දින වැඩි වෙමින් තිබුණු අවස්ථාවක තමයි දකුණු අප්රිකානු සංචාරය පිළිබඳ මට මුලින්ම සිතට ආවේ.මෙහෙම හිතල දකුණු අප්රිකානු චාරිකාවක් කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා කණ්ඩායමේ ජේෂ්ඨ ක්රිඩකයින් දෙදෙනෙකු වන දුලිප් සහ රෝයි සමඟ සාකච්ඡා කලා.මේ දෙන්නා එක පයින්ම ඒකට කැමති වුණා.කණ්ඩායමේ ඉතිරි ක්රීඩකයින්ව තේරීම ඔනුන් දෙදෙනා බාර ගත්තා.
තත්වය මෙසේ තිබියදී 1982 මැද හරියෙදී මම ඔ්ලන්දයට ගියා.ටික කාලයක් එහෙ ඉන්නකොට දකුණු අප්රිකානු ක්රිකට් සංගමයේ සභාපති ජෝ පැමෙන්ස්කි සමඟ මුල්ම සබඳතාව ඇති කරගත්තා.සම්පූර්ණයෙන්ම වාගෙ ශ්රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමක් දකුණු අප්රිකාවේ චාරිකා කිරීමෙ හැකියාව යෝජනා කරමින් මම ඔහුට ලිපියක් ලිව්වා.
මගේ ලිපිය ලැබිලා උද්දාමයට පත්වුණු පැමෙන්ස්කි මට දුරකතනයෙන් කතා කලා.එයාට දැනගන්න ඔ්න වුණා හරියටම චාරිකාවට ඇතුලත් වන ක්රීඩකයින් කවුද කියල. මම පහුවදාම දුලිප්ගෙ නිවසට දුරකතනයෙන් කතා කරල කණ්ඩායමේ විස්තර සකස්කර ගත්තා.පස්සෙ මම මේ ගැන දුරකතනයෙන් පැමෙන්ස්කිට කියන කොට එයා මගෙන් ඇහැව්වා කෝ නායකයා? වර්ණපුර කෝ?ඇයි එයා ඇතුලත්වෙලා නැත්තේ.අපි එයා ගැන ගොඩාක් කරුණු අහල තියෙනවා කියල පැමෙන්ස්කි මට බල කරල කිව්වා වර්ණපුරව කණ්ඩායමට ඇතුලත් කර ගන්න කියල.මම ඒ සඳහා ඔහුගෙන් කල් ඉල්ලුවා.
1982 මැයි මාසෙදී පැමෙන්ස්කි සහ දොස්තර අලි බැචර් ඔ්ලන්දයට පැමිණ මාව හමුවුනු අවස්ථාවේදී ආයෙමත් වර්ණපුර පිළිබඳව ගැටලුව මතු වුණා. ඒ වගේම අසන්තද මෙල් ,රන්ජන් මඩුගල්ල, සිදත් වෙත්තමුණි ගැනත් ඔවුන් උනන්දු වුණා.මේ අයව ලබා ගැනීමෙ දුෂ්කරතා වෙන වෙනම පෙන්වල දුන්නහම ඔවුන් කිව්වා අනෙත් අයව අමතක කරන්න කොහොම හරි වර්ණපුරව ලබා ගන්න අපිට ඒ හොඳටම ඇති කියල. එදාම අපි ක්රීඩා තත්ව තරඟ කොන්දේසි සහ මුදල් පිළිබඳවත් සාකච්ඡා කලා.
මේ හමුවීමෙන් සතියකට පස්සෙ පැමෙන්ස්කිගෙන් විදුලි පණිවිඩයක් ලැබුණා දකුණු අප්රිකානු ක්රිකට් සංගමය අපේ චාරිකාව අනුමත කලබව දන්වමින්. ඊට පස්සෙ පැමෙන්ස්කිගෙ ඉල්ලීම පිට මම දකුණු අප්රිකාවට ගියා ඔවුන්ගෙ නීතීඥයින් හමුවීමට. එහිදි සකස්කොට තිබුණු ගිවිසුම් පිටපත් මම පරීක්ෂා කලා.නැවතත් අගෝස්තු මාසයේ ලංකාවට පැමිණි මම මගේ නිවසේදී සියලුම ක්රීඩකයින්ට ගිවිසුම් පත් කියවා ඔවුන්ට එය පැහැදිලි කර දුන්නාා.
පැමෙන්ස්කිට පොරොන්දු වුණත් මගේ හිත තුල විශාල ගැටලුවක් තිබුණා වර්ණපුරව මෙම චාරිකාවට ඈඳා ගන්නේ කොහොමද කියල.මේ අතර ඔහුගේ නායකත්වය යටතේ ශ්රී ලංකා පිල ඉන්දියාවෙ තරඟ සංචාරයක නිරතවීමට නියමිතව තිබුණා.තත්වය තවත් සංකීර්ණ වීමට පෙර වේලාවක් වෙන්කරවාගෙන මම ඔහුගේ නිවසට ගොස් ඔහුව හමු වුණා.ඉතා පරිස්සමෙන් මා පැමිණි කාරණය ඔහුට ටිකෙන් ටික ඉදිරිපත් කළා.දකුණු අපිුකානු සංචාරයේ නායකත්වය භාර ගතහොත් ඔහුට දීප්තිමක් අනාගතයක් උදාවන බව මම ඔහුට පවසා සිටියා.පාලක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ඔහු ඇති කරගෙන තිබූ ගැටුම නිසාත්, මගේ යෝජනාවලියෙන් ලැබෙන ඵල ප්රයෝජන නිසාත් අන්තිමේදී වර්ණපුර එකඟ වුණා දකුණු අප්රිකානු සංචාරයට එක් වීමට.
ඊට පහුවදා දකුණු අප්රිකාවෙ සිට කොලින් රෂ්මෙයර් ලංකාවට පැමිණියා.ඊට පසු දින උදෑසන වර්ණපුර හැර සෙසු ක්රීඩකයින් සියලු දෙනා රෂ්මෙයර් ඉදිරියේ ගිවිසුම් වලට අත්සන් කලා.දුලිප් සහ රෝයිත් එතන සිටියා. ඒ වන විටත් මා සහ රෂ්මෙයර් හැර වෙන කවුරුවත් දැනගෙන හිටියේ නැහැ වර්ණපුර අපේ කණ්ඩායමේ සිටින බව.තෝරා ගෙන සිට් කණ්ඩායමේ ක්රීඩකයින් කිහිප දෙනෙකු ගැන තමන්ට කිසිම විශ්වාසයක් නොමැති නිසා රෂ්මයෙර් නැවතී සිටි හෝටලයේදී තමන්ගේ ගිවිසුම අත්සන් කිරීමට වර්ණපුර කැමති වුණා.
ඊට දවස් තුනකට පස්සෙ ශ්රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වෙලා ගියා.දකුණු අප්රිකානු සංචාරය සඳහා ගිවිසුම් අත්සන් කල ක්රීඩකයින් හත් දෙනෙක් මෙම කණ්ඩායෙමේ හිටියා. ශ්රී ලංකා පිල ඉන්දියාවෙ සිටියදී මෙරට එක්තරා ඉංග්රීසි පත්තරයක ප්රවෘත්තියක් ඵල වුණා අපේ ක්රිකට් ක්රීඩකයින කිහිප දෙනෙක් දකුණු අප්රිකාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කරන බව සඳහන් කරමින්.ඊට පස්සෙ ක්රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිස්සු බල්ලන් මෙන් හැම තැනම දුවමින් තොරතුරු හොයන්න පටන් ගත්තා.ඔවුන් හදිසි රැස්වීම් පවත්වන්න පටන් ගත්තා.පත්තරවල විවිධ ප්රවෘත්ති ඵල වෙන්න පටන් ගත්තා.
මේ අතර ඉන්දියානු සංචාරයෙන් පසුව දුලිප් සහ රෝයි අපට දන්වා සිටියා අප්රිකානු සංචාරය යාම ඔවුන් අත්හැරිය බව. ඔවුන් ඉවත් වුණත් ඒ වන විට සංචාරය නතර කරන්න අපට හැකියාවක් තිබුණෙ නැහැ.මේ නිසා අපි පත්තර වාර්තා කරුවන්ගෙ අවදානයට ලක් නොවන පරිදි තැන් තැන් වල රැස් වෙලා අවසන් කටයුතු සංවිධානය කලා.
කලින් යොදා ගත් සැලැස්මකට අනුව දකුණු අප්රිකාවේ වෙසෙන ඉංග්රීසි ජාතික කාන්තාවක් අපේ ගුවන් ගමන් බලපත් ටික ලංකාවට ගෙනවිත් මට භාර දුන්නා.මේ අතර පැමෙන්ස්කි එහි සිට පුවත්පත් දැන්වීමක් නිකුත් කලා ශ්රී ලංකාවෙ දකුණු අප්රිකානු චාරිකාව අවලංගු කළ බව දන්වමින්.මේ නිසා අපේ ක්රිකට් පාලක මණ්ඩලයේ අය වගේම පත්තරකාරයිනුත් හොඳටම නොමග ගියා. අපි මවා පාපු දර්ශනයෙන් ඔවුන් මං මුලා වූ නිසා අපේ වැඩ රහිසිගතව පිලියෙල කර ගන්න හැකි වුණා.
චාරිකාව බලා පිටත්වන දිනයේ දී අපි ගුවන්තොටුපලට ගියේ ගමන් මලු කිසිවක් රැගෙන නෙමෙයි.ළග පාතකට යන බවක් තමයි පෙනෙන්නට තිබුණේ.කණ්ඩායමක් හැටියට ගුවන්තොටුපලට නොයන්න අපි වග බලා ගත්තා.නැවත ගුවන් යානයේදී එක්කාසු වන තුරු හැසිරුණේ තනි පුද්ගලයින් හැටියටයි.
1982 ඔක්තොම්බර් මාසයේ 18 වෙනිදා පාන්දර එකට ගුවන්තොටුපලින් අපි සියලු දෙනා ගුවන් ගත වුණේ හොංකොං බලායි.හොංකොන් හිදී දකුණු අප්රිකානු ගුවන් සේවා නියෝජිත ජෝන් මරේ විසින් අපව උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.එහි දින තුනක් ගත කොට තායිපෙ බලා පිටත් වුණු අප එතැනින් දකුණු අප්රිකාව බලා පිටත් වුණා.ජොහැන්නස්බර්ග් ගුවන්තොටුපලේදී අපව ඉතා උත්කෘෂ්ට අන්දමින් පිළිගනු ලැබුවා.”
උකුසු ඇසට යටින් රිංගා එදා කැරළිකාර ශ්රී ලංකා කණ්ඩායම දකුණු අපිුකාවට ගියේ එලෙසිනි