Tuesday, October 27, 2026
spot_img
HomeFeaturesලාංකීකයන් තවමත් ආදරය කරන පොන්ටින් කට් එක

ලාංකීකයන් තවමත් ආදරය කරන පොන්ටින් කට් එක

රැවුල වැවීම වර්තමානයේ ලොව පුරා පැතිරගිය රැල්ලක්. අද සමාජයේ රැවුල නැති තරුණයන්ට වඩා රැවුල වැවූ තරුණයන් වැඩිබව රහසක් නොවෙයි. මේක ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් පොදු ධර්මතාවක්.

නමුත් 2000 වසරට පෙර කාලයේ රැවුල වැවූ ක්‍රීඩකයින් හමුවන්නේ අඩුවෙන්. අපිට එක්වරම මතක්වෙන්නේ අසංක ගුරුසිංහ. ඉතිහාසයේ සිට බැලුවොත් W. G. ග්‍රේස් ගෙන් පටන්ගත්තම එංගලන්තයේ ඉයන් බොතම්, ග්‍රැහැම් ගූච්, මයික් ගැටින්, අැලන් ලෑම්බ්, ජැක් රසල් ඔස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී, අැලන් බෝඩර්, මර්වි හියුස්, ඩේවිඩ් බූන්,රොඩ්නි මාෂ් කොදෙව් පිලේ ගැරී සෝබර්ස්, ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචර්ඩ්ස්, මයිකල් හෝල්ඩින් ඉන්දියාවේ කපිල් දේව්, දිලිප් වෙන්සාකර්, සෙයිඩ් කිර්මානි, මොහොමඩ් අසරුදීන් පාකිස්ථානයේ සහීර් අබ්බාස්, ජාවෙඩ් මියැන්ඩාඩ් නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි සහ අපේරටෙි බන්දුල වර්ණපුර, රවි රත්නායක, මහේෂ් ගුණතිලක වැනි අය රැවුලත් එක්කම මතක්වෙන ක්‍රීඩකයින් කීපදෙනෙක්.


මෙයිනුත් ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් බූන් සහ මර්වි හියුස් ඔවුන්ගේ දක්ෂතාවලටත් වඩා ජනප්‍රිය වුණේ ඔවුන් දෙදෙනාගේ අසාමාන්‍ය උඩු රැවුල නිසා.


1995 දෙසැම්බර් මස 6 වෙනිදා පර්ත් පිටියේදි ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙක් ටෙස්ට් වරම් ලැබුවා. මේ දෙන්නා තමයි රිකී පොන්ටින් සහ ස්ටුවර්ට් ලෝ. මේ දෙන්නගේ තිබුණු සමානකම තමයි දෙන්නාටම එකවගේ රැවුලක් තිබීම.


මොවුන්ගෙන් ලෝ ජාත්‍යන්තර පිටියේ දිගු ගමනක් නොගියත් මංගල ටෙස්ට් ඉනිමේදි ලකුණු 96ක් ලැබූ පොන්ටින් 2012දී සමුගන්නාවිට ටෙස්ට් තරග 168කදී ශතක 41ක් සමග ලකුණු 13378කුත් එක්දින තරග 375කදී ශතක 30ක් සමග ලකුණු 13704කුත් වාර්තා කොට තිබුනා. ඊට එක්දින ලෝක කුසලාන ජයග්‍රහණ 3ක් අැතුලත්. මෙයින් දෙකක්ම පොන්ටින්ගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණ.


මුල් කාලයේ පොන්ටින් වඩාත් ජනප්‍රිය වුනේ ඔහුගේ රැවුල නිසා. ලංකාවේ අයත් බොහෝ කාලයකට පෙර සිට එම රැවුල් විලාසිතාවට රැවුල කැපුවත් පොන්ටින්ගේ අාගමනය නිසා එය අපේ අයට පොන්ටින් කට්එක වුනා.


කොහොම වුනත් 1998 කාලය වනවිට පොන්ටින් ඔහුගේ රැවුල කපා දැමුවා. ඔහු නැවත කවදාවත් රැවුල වැව්වේ නෑ. එයට හේතුව විදියට අපේ අය ගොතපු රසකථාවක් වුනේ “මූණට සබන් පෙට්ටි පියන තියලා අපේ අය කපන කට් එක පොන්ටින් කට්එක ලෙස නම්කිරීම නිසා අැති වූ ලැජ්ජාවට පොන්ටින් තම රැවුල කපා දැමුවා” යන්නයි.


නිරන්තරයෙන් දක්ෂතා අතර නොසිටීම සහ අයහපත් කල්ක්‍රියාව නිසා විටින් විට කණ්ඩායමෙන් ඉවතට විසිවුන පොන්ටින්ගේ දෙවන ගමන අැරඹෙන්නේ 2001 අවසානයේ ඔහුට ටෙස්ට් කණ්ඩායමේ අංක 3 පිතිකරු ස්ථානය ඔහුට ස්ථිරවම ලැබීමත් සමගයි.


ඉන්පසු පොන්ටින් ක්‍රිකට් පිටිය දිග්විජය කරන්නේ ස්ටීව් වෝ ගෙන් පසුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ස්වර්ණමය යුගයේ එහි නායකත්වය දරමින්. පොන්ටින් තම නායකත්වය යටතේ ටෙස්ට් තරග 77කදී ජයග්‍රහණ 48කුත් එක්දින තරග 229කදී ජයග්‍රහණ 164කුත් ඔස්ට්‍රේලියාවට ලබාදුන්නා. එමෙන්ම 2000-2010 දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි වුනෙත් පොන්ටින්ටයි.


2011 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාවට පරාජය වූ පසු නායකත්වයෙන් ඉවත්වූ පොන්ටින් 2012දී ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තා.
පොන්ටින් තම රැවුල කපාදමා වසර 23කට පමණ පසු 2021 වසරේදිත් අපේ රටේ බොහෝදෙනා තවමත් එම විලාසිතාව හදුන්වන්නේ පොන්ටින් කට්එක කියලයි. එමනිසා පොන්ටින් කට්එක අපේ රටේ ජනතාව අතර අමරණීයවනු අැති.

ලහිරු උදාන අබේසේකර..

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments