ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 102ක ජයක් වාර්තා කළ දකුණු අප්රිකානු කණ්ඩායම මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අද ( 7 වැනිදා ) සමත් විය. මෙම තරගය ඉන්දියාවේ දිල්ලිහීදී පැවැත්විණ.
ජයග්රහණය සඳහා ලකුණු 429ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44. 5 කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 326ක් පමණි.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩාකළ කුසල් මෙන්ඩිස් පන්දු 42කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වෙද්දී, සටන්කාමී ඉනිමක් ක්රීඩාකළ චරිත් අසලංක පන්දු 65කින් ලකුණු 79ක් රැස් කිරීමට සමත් විය. ඔහු දැවී යන විට සිය ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් එක්කරගෙන තිබිණි.
දිගින් දිගටම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වී සිටි නායක දසුන් ශානක නැවතත් ලකුණු අතරට පිවිසෙමින් පන්දු 62කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුවද එයද ශ්රී ලංකාවේ ජයග්රහණයට ප්රමාණවත් නොවීය. ශ්රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය තරමකින් හෝ වැඩි කර ගැනීමට ශක්තියක් වූ කසුන් රාජිත පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 33ක් ශ්රී ලංකා ඉනිමට ඒකතු කළේය.
පන්දු යැවීමේදී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 68කට කඩුලු 3ක් බිද දමද්දී, මාර්කෝ ජන්සෙන්, කේෂාව් මහරාජ් සහ කගීසෝ රබාඩා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට දකුණු අපිකානු කණ්ඩායමට ආරාධනා කරසිටි අතර, ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 428ක් රැස් කිරීමට සමත් වූයේ එක්දින ලෝක කුසලාන ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්යාව තම රට ඉදිරියේ ලියා ගනිමිනි. මෙම තරගයේදී දකුණු අප්රිකාව වෙනුවෙන් ශතක ත්රිත්වයක් වාර්තා වූ අතර එයද ලෝක කුසලාන ක්රිකට් ඉතිහාසයේ එක් ඉනිමක් තුළ පිතිකරුවන් තිදෙනෙකු ශතක ලබාගත් පළමු අවස්ථාව බවට පත්විය.
ශ්රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්රහාරයක් දියත් කළ ඒ්ඩ්න් මාක්රම් ( ලකුණු 106 ) , රසී වැන්ඩර් ඩුසේන් ( ලකුණු 108 ) සහ ක්වෙන්ටන් ඩි කොක් ( ලකුණු 100 ) බැගින් ලබා ගනිමින් සිය ශතක වාර්තා කිරීමට සමත් වූහ. පන්දු 49කින් සිය ශතකය සම්පූර්ණ කළ ඒඩ්න් මාක්රම් ඉතිහාසගත වූයේ එක්දින ලෝක කුසලාන ක්රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තාකළ වේගවත්ම ශතකය ලෙසයි.
එමෙන්ම මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 754ක් රැස් කිරීමට සමත් වූ අතර ( දකුණු අප්රිකාව 428 + ශ්රී ලංකාව ලකුණු 326 ) එය ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්යාවද විය.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය මෙ මස 10 වැනිදා පාකිස්තාන කන්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.



