ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21ක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම අද ( 9 වැනිදා ) සමත් විය. මෙම තරගය කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්විණ. ශ්රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්රහණයත් සමගින් බංග්ලාදේශය සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි පරාජයද වැළද ගත්තේය.
ජයග්රහණය සඳහා ලකුණු 258ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48.1 කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 236ක් පමණි.
යොවුන් පිතිකරු තවුහිද් රිදෝයි අවසන් මොහොත තෙක් සටන් කරමින් බංග්ලාදේශය ජයග්රහණය වෙත රැගෙන යාමට උත්සාහ කළද, එයට මහීෂ් තීක්ෂනගෙන් අවස්ථාවක් හිමි නොවීය. තවුහිද්, තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී යනවිට පන්දු 97කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 82ක් ලබා තිබුණි.
සෙසු පිතිකරුවන් වූ මුෂෆිකර් රහීම් ( ලකුණු 29 ) සහ මෙහෙදි හසන් ( ලකුණු 28 ) බැගින් රැස් කිරීමට සමත් වූවද ඔවුන්ටද දිගු ඉනිමක් ගොඩ නැගීමට ශ්රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක දසුන් ශානක තරගයේ ආරම්භයේ සිටම සිය වගකීම තමන්ගේ අතට ගනිමින් පන්දුවාර 9කදී ලකුණු 26කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් බිද දමද්දී, යොවුන් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ නියමිත පන්දුවාර 10ට ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක්ද බිද හෙලීමට සමත් වූයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි.
කාසියේ වාසිය ජයග්රහණය කළ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කිරීමට සමත් විය.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩාකළ සදීර සමරවික්රම පන්දු 72කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 93ක් රැස් කිරීමට සමත් වූයේ සිය එක්දින ක්රිකට් පිටියේ පෞද්ගලික හොඳම ඉනිම ක්රීඩා කරමිනි. ඔහුට අනගි සයහක් ලබාදුන් කුසල් මෙන්ඩිස් මෙවර තරගාවලියේ සිය දෙවැනි අර්ධ ශතකය ලබා ගැනීමට කටයුතු කළේය. ඒ පන්දු 73කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 50ක් ලබා ගනිමිනි. පැතුම් නිශ්ශංක ( ලකුණු 40 ) සහ නායක දසුන් ශානක ( ලකුණු 24 ) බැගින් ලබා ගනිමින් ශ්රී ලංකා ඉනිම ගොඩ නැගීමට සිය දායකත්වය ලබා දුන්හ.
පන්දු යැවීමේදී හසන් මහ්මුද් සහ ටස්කින් අහ්මඩ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය මේ මස 12 වැනිදා ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.






