Sunday, October 25, 2026
spot_img
HomeASIA CUPASIA CUP - කෝලි - රාහුල් - කුල්දීප් පාකිස්තානය දණ ගස්වති

ASIA CUP – කෝලි – රාහුල් – කුල්දීප් පාකිස්තානය දණ ගස්වති

විරාට් කෝලිගේ සහ කේ. එල් රාහුල්ගේ විශිෂ්ට පිතිහරඹයත්, කුල්දීප් යාදේව්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ පාකිස්තානයට එරෙහිව පැවති සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 228ක දැවැන්ත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද ( 11 වැනිදා ) සමත් විය. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයෙ ( 10  වැනිදා ) ආරම්භ වුවද, තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග අද ( 11 වැනිදා ) දිනයේදීද පැවැත්වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 357ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 32කදී කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.

පාකිස්තාන ඉනිමේ එකදු පිතිකරුවෙකුටවත් ලකුණු 30 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූ අතර, ෆකර් සමාන් ( ලකුණු 27 ) , අගා සල්මන් ( ලකුණු 23 ) සහ ඉෆ්තිකර් අහමඩ් ( ලකුණු 23 ) බැගින් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් ලකුණු 25කට කඩුලු 5ක් බිද දමද්දී, ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා සහ ශර්දුල් තකූර් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කරසිටි අතර, ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 356ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රොහිත් ශර්මා ( ලකුණු 56 ) සහ ශුබ්මන් ගිල් ( ලකුණු 58 ) රැස් කරමින් අර්ධ ශතක ලබද්දී, තෙවැනි සහ සිව්වන පිතිකරුවන් ලෙස පිටියට පිවිසි විරාත් කෝලි සහ කේ.එල් රාහුල් ශතක ලබා ගනිමින් පාකිස්තාන පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරන්නට වූහ.

තම ක්‍රිකට් දිවියේ 47වැනි එක්දින ශතකය ලබාගත් විරාට් කෝලි පන්දු 94කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 122 ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින්  වේගවත්ම එක්දින ලකුණු 13,000 සීමාව පසුකර යාමට ද කෝලිට අවස්ථාව හිමි විය. ඔහුට අනගි සහයක් ලබාදුන් කේ. එල් රාහුල් පන්දු 106කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 111ක් ලබා ගැනීමට කටයුතු කළේ සිය එක්දින පිටියේ 6 වැනි ශතකයද ලබා ගනිමිනි.

පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් සහ ශහීන් අෆ්රීඩි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගය හෙට ( 12 වැනිදා ) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව 3.00ට ආරම්භ වීමට නියමිතය.

ඡායාරූප – ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments