එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබූ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව විස්සයි 20 තරගාවලියක් ජයග්රහණය කිරීමට අද ( 6 වැනිදා ) සමත් විය. මෙම තරගය එංගලන්තයේ ඩර්බිහිදී පැවැත්විණ.
ජයග්රහණය සඳහා ලකුණු 117ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම තවත් පන්දු 18ක් ඉතිරිව තිබියදීම තරගය පහසුවෙන් ජයග්රහණය කළේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු 28කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 44ක් රැස් කිරීමට සමත් වූයේ ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණය ඉක්මන් කරමිනි.
ඇයට අනගි සහයක් දක්වමින් අනෙත් අන්තයේ රැදී සිට අනුෂ්කා සංජීවනි පන්දු 16කින් ලකුණු 20ක් රැස් කිරීමට සමත් වූවාය.
චමරිගේ සහ සංජීවනිගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ හර්ෂිතා සමරවික්රම ( නොදැවී 26 ) සහ හසිනි පෙරේරා ( නොදැවී 9 ) ලබා ගනිමින් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය වෙත කැදවාගෙන ගියහ.
පන්දු යැවීමේදී සරා ග්ලේන් නියමිත පන්දුවාර 4 අවසානයේ ලකුණු 23කට කඩුලු 2ක් බිද හෙලුවාය.
කාසයේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116ක් පමණි.
තම කණ්ඩායමේ බර අතට ගත් චමරි අතපත්තු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලද්දී, උදේශිකා ප්රබෝධනි සහ කවීෂා කල්හාරි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ඒ අනුව සමස්ත තරගාවලිය තුලදීම පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු අවසන් තරගයේ වීරවරිය මෙන්ම තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තාය.






