Monday, October 26, 2026
spot_img
HomeDomesticමංගල ටෙස්ට් තරගය ජයගන්න අවස්තාව සිව්වන උදය වනතුරු අපට තිබුණා - නායක...

මංගල ටෙස්ට් තරගය ජයගන්න අවස්තාව සිව්වන උදය වනතුරු අපට තිබුණා – නායක බන්දුල වර්ණපුර 

1981 වසරේ ශ්‍රි ලංකාවට ටෙස්ට් ක්‍රිකට් හිමි වීමෙන් පසු ශ්‍රි ලංකාවේ පළමු ටෙස්ට් තරගය පැවැත් වුයේ 1982 පෙබරවාරි මස 17-22 දක්වා (19 විවේක දිනය) වනාතමුල්ල ඕවල් (පී. සරනමුත්තු ක්‍රිඩාංගණයේ දී ය.)
මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකාව ප්‍රථම ඉනිමේ දී ලබා ගත් ලකුණු 218 ට පිළිතුරු ලෙස එංගලන්ත ප්‍රථම ඉනිමේ දී ලකුණු 223ක් රැස් කර මුල් ඉනිමේ දී ඉදිරියෙන් සිටියේ ලකුණු පහකිනි. දෙවැනි ඉනිමේ දී ශ්‍රි ලංකාව වරක් කඩුල්ලකට ලකුණු 113ක් ලබා ගනිමින් ද තුන් වන දින (20) තරගය නිම වන විට කඩුලු 3කට ලකුණු 152ක් රැස් කරමින් පසු වූයේ ඉතාමත් ප්‍රබල තත්ත්වයක ය.


ශ්‍රි ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ ලංකා කණ්ඩායමේ නායකයා වූයේ බන්දුල වර්ණපුරය. මේ වන විට ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිඩාවට නවකයන් වුවත් දින තුනක් යනතුරු ශ්‍රි ලංකාව පසු වූයේ ප්‍රබලම තත්ත්වයක ය. මංගල ටෙස්ට් තරගයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්නා තත්ත්වයක ලංකා කණ්ඩායම සිවිවන දින උදෑසන තෙක් ම පසු වූ බව ලංකා කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර ඇතුළු බහුතරයක් ම විශ්වාස කළහ. මංගල ටෙස්ට් තරගය තරගය පිළිබඳව බන්දුල වර්ණපුර ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමඟ පළ කළ අදහස් කිහිපයක් පහත දැක්වේ.


හතර වන දින (1982 පෙබරවාරි 21) උදෑසන වන විට අප සිටියේ මංගල ටෙස්ට් තරගයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්නා අවස්ථාවකයි. එදින උදෑසන ම අපගේ ප්‍රබලම පිතිකරුවන් දෙතුන් දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාම තරග ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම ද ආපස්සට පෙරැලීමට හේතු වුවා යැයි බන්දුල වර්ණපුර පවසයි.


වැදගත් කරුණක් වු තරගයේ කාසිය දිනා අප මුල් ඉනිමේදි එංගලන්තය සමඟ කරට කර (ශ්‍රි ලංකාව 218යි එංගලන්තය 223යි) සිටියා. දෙවන ඉනිමේ දී අප පන්දුවට පහර දෙන විට සිදත් වෙත්තමුණි (09) පමණක් දැවී අප ලකුණු 113 සීමාවට පැමිණියේ යහපත් ස්ථාවර තත්ත්වයක පසුවෙමින්. එදින තමාත් (බන්දුල 38) රෝයි ඩයිස් (77) සවස දැවී යාමෙන් පසු තෙවන දින තරගය නිම වන විට ශ්‍රි ලංකාව කඩුලු තුනකට ලකුණු 152ක් ලබා එංගලන්ත මුල් ඉනිමට වඩා ලකුණු 147ක් ඉදිරියෙන් සිටියේ කඩුලු හතක් ම ඉතිරිවයි. ඒ අය අතර උප නායක දුලිප් මෙන්ඩිස්‚රන්ජන් මඩුගල්ලේ සහ අර්ජුන රණතුංග සිටියා. අපට තව ලකුණු 125-150ක් පමණ තිබුණා නම් ප්‍රමාණවත්. අවාසනාවකට සිව්වන දින උදයවරුවේ ප්‍රබල පිතිකැරුවන් තිදෙනෙකුම කළින් ම දැවී යාමෙන් තරගයේ වාසිය එංගලන්තය දෙසට පෙරලුණු බව බන්දුල වර්ණපුර පැවසීය.


දින තුනක් යන තුරුම තරගයේ ප්‍රබලයන් ලෙස (Favorites) ලෙස ලොව විදේශ ජනමාධ්‍ය හදුන්වා දුන්නේ ද අපිවයි.මංගල ටෙස්ට් තරගය ජය ගැනීමට තිබු තත්ත්වය අපට අහිමි වුයේ සිවිවන දින උදයේ අපගේ අසාර්ථකත්වයෙන් යැයි ද බන්දුල වර්ණපුර කීය.


ශ්‍රි ලංකාව මුලින් පන්දුවට පහර දුන් අවස්ථාවේ (218) රන්ජන් මඩුගල්ලේ ලකුණු 65ක් ද අර්ජුන රණතුංග ලකුණු 54ක් ද මහේෂ් ගුණතිලක ලකුණු 22ක් ද අසන්ත ද මෙල් ලකුණු 19ක් ද ලැබු අතර ඩෙරික් අන්ඩර්වුඩ් ලකුණු 28කට කඩුලු පහක් දවාලුවේ ය. එංගලන්තය ලබා ගත් ලකුණු 223ට ඩේවිඩ් ගවර්ගේ ලකුණු 89ත් නායක කීත් ෆ්ලෙවර් රැස් කළ ලකුණු 45ත් උපකාරී විණි. අසන්ත ද මෙල් ලකුණු 70කට කඩුලු හතරක් ද ඩී.එස්.ද සිල්වා ලකුණු 54කට කඩුලු තුනක් ද දවාලූහ. ශ්‍රි ලංකාවේ දෙවන ඉනිමේ ලකුණු 175ට වැඩිපුර දායකත්වය දුන්නේ රෝයි ඩයස් (77) බන්දුල වර්ණපුර (38) සහ දුලිප් මෙන්ඩිස් (27) ය. ජෝන් එම්බියුරි ලකුණු 33කට කඩුලු හයක් ම දවාලුයේ ය.එංගලන්තයේ දෙවන ඉනිමේ දී කඩුලු තුනකට ලකුණු 171ක් ලබා ජය ගත්තේ කඩුලු හතකිනි.ක්‍රිස් ටැවරේ ලකුණු 85ක් ලැබු අතර අජිත් ද සිල්වා ලකුණු 46කට කඩුලු දෙකක් ද අසන්ත ද මෙල් ලකුණු 33කට කඩුල්ලක් ද දවාලූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments