Monday, October 26, 2026
spot_img
HomeASIA CUPASIA CUP - විනාඩි 116කට පසු ඉන්දියාව ආසියාවේ ශූරයන් වෙයි

ASIA CUP – විනාඩි 116කට පසු ඉන්දියාව ආසියාවේ ශූරයන් වෙයි

මොහොමඩ් සිරාජ්ගේ විශිෂ්ට පන්දු යැවීමත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹයත් හේතුවෙන් 16 වැනි වරට පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය තමන් සතුකර ගැනීමට ඉන්දියාව අද ( 17 ) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව ආසියානු කුසලානය ජයගත් 8 වැනි අවස්ථාව බවට පත්විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය විනාඩි 116ක් ( පැය 2 අඩුවෙන් )  වැනි කාලයක් තුළදී අවසන් වීම කාගේත් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වූයේ  ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම අවමන් සහගත පරාජය නිසාවෙනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව තරගය ප.ව 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබුනද, තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග තරගය ප.ව 3.40 ආරම්භ විය.

පළමු පන්දුවාරයේදීම ජස්ප්‍රිට් බුම්රා ලබාදුන් සාර්ථක ආරම්භයත් සමගින් දිමුත් කරුණාරත්න වෙනුවට කණ්ඩායමට එක් වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට කටයුතු කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 1කට කඩුලු 1ක් බවට පත් කරමනි. ඉන් ආරම්භ වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් මොහොමඩ් සිරාජ්, ඔහු යැවූ පළමු පන්දුවාරයෙන් ම කඩුලු 4ක් බිද දැමීමට කටයුතු කළේ තරගයේ සම්පූර්ණ වාසිය ඉන්දියාව වෙත නතුකර දෙමිනි. ඔහුගේ පන්දුවාරයේදී පැතුම් නිශ්ශංක ( ලකුණු 2 ), සදීර සමරවික්‍රම ( ලකුණු 0 ), චරිත් අසලංක ( ලකුණු 0 ) සහ ධනංජය ද සිල්වා ( ලකුණු 4 ) දවා ගැනීමට කටයුතු කළේය. 

ශ්‍රී ලංකා මුල්පෙළ සහ මැද පෙළ සියල්ල ක්‍රීඩාංගණයේ නරඹන්නන් බවට පත් වෙද්දී, පිටියට එක් වූ නායක දසුන් ශානකටද මුහුණ දීමට හැකි වූයේ පන්දු 4ක් පමණි. මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබාම දැවී යාමට ශානකට සිදු වූ අතර ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6කට ලකුණු 12 ලෙසය. ඒ වනවිට ශ්‍රී ලංකා කන්ඩායම මුහුණ දී තිබුනේ පන්දුවාර 5.4ක් පමණි.

සියල්ල අසාර්ථක වෙද්දී, එක් අන්තයක අසරණ වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළද, එයට ද මොහොමඩ් සිරාජ්ගෙන් අවස්ථාවක් හිමි නොවීය. කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ලද දවාගත් මොහොමඩ් සිරාජ් තම එක්දින පිටියේ යැවූ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

කුසල් මෙන්ඩිස් ( ලකුණු 17 )  හැරෙන්න ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 සීමාව පසුකළ එකම ක්‍රීඩකයා වූයේ මහීෂ් තීක්ෂන වෙනුවට කණ්ඩායමට එක් වූ දුශාන් හේමන්ත පමණි. ඔහු සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් සිය අන්තයේ රැදී සිටියද ඒ වනවිට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 දැවී ගොස් අවසන්ය.

මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකා මුල්පෙළ සහ මැද‌පෙළ විනාශ කරද්දී, ඔහුට අනගි සහයක් ලබාදුන් හර්දික් පාණ්ඩ්‍යා පසුපෙළ පිතිකරුවන් වූ දුනිත් වෙල්ලාලගේ ( ලකුණු 8 ), ප්‍රමොද් මධුෂාන් ( ලකුණු 0 ) සහ මතීෂ පතිරණ ( ලකුණු 0 ) බිද දැමීමට කටයුතු කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 51ක පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශුබ්මන් ගිල් ( නොදැවී 27 ) සහ ඉෂාන් කිෂාන් ( නොදැවී 23 ) ලබා ගනිමින් තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළහ.

මොහොමඩ් සිරාජ් අවසන් තරගයේ වීරයා බවට ‌පත් වෙද්දී, කුල්දීප් යාදේව් තරගාවලියේ වීරයා බවට පත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments