Tuesday, October 27, 2026
spot_img
HomeASIA CUPASIA CUP - තියුණු සටනකින් පසු පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

ASIA CUP – තියුණු සටනකින් පසු පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් අවසන් මොහොතේ කඩුලු 2ක ජයත් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද අලුයම ( 15 වැනිදා ) සමත් විය. ඒ අනුව මේ මස 17 වැනිදා ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් තරගයට මුහුණ දීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 252ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළේ අවසන් පන්දුවේදීය. චරිත් අසලංක ඩීප් ස්කෙයාර් ලෙග් කළාපයට පන්දුව යොමු කරමින් අවසන් පන්දුවට ජයග්‍රාහී ලකුණු 2 සම්පූර්ණ කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම 11 වන වරටත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට ගෙන යමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු චරිත් අසලංක පන්දු 47කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 49ක් රැස් කිරීමට සමත් විය.

මෙවර තරගාවලයේ තෙවැනි අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් පන්දු 87කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 91ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහු මෙවර තරගාවලියේ ශතකය පෙනී පෙනී දැවී ගිය දෙවැනි අවස්ථාව බවට එය පත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සදීර සමරවික්‍රම පන්දු 51කද හතරේ පහර 4ක් සමගින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඉෆ්තිකර් අහමඩ් ලකුණු 50කට කඩුලු 3ක් සහ ශහීන් ශා අෆ්රීඩි ලකුණු 52කට කඩුලු 2 බැගින් බිද දැමීමට සමත් වූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42කදී කඩුලු 7කට ලකුණු 252ක් රැස් කිරීමට සමත් විය. මෙම තරගය පන්දුවාර 50 තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුනද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කිරීමට තරග තීරකවරු තීරණය කළහ.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් රිස්වාන් පන්දු 73කදී නොදැවී ලකුණු 86ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය. අබ්දුල්ලා ශෆීක් ( ලකුණු 52 ) සහ ඉෆ්තිකර් අහමඩ් ( ලකුණු 47 ) බැගින් රැස් කරමින් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට කටයුතු කළහ.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් සහ ප්‍රමොද් මධුෂාන් ලකුණු 58කට කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments