1999 ලෝක කුසලාන තරගාවලියේ සුපර් සික්ස් වටයේ 9වන තරගය ඔස්ට්රේලියාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වුනේ එංගලන්තයේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි පිටියේදි. දිනය 1999 ජුනි මස 13 වෙනිදා.
මේ තරගය ඔස්ට්රේලියාවට ඉතා වැදගත් වූයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටනම් ඔවුන් මේ තරගය ජයගතයුතුම වූ නිසා. තරගාවලියේ ප්රබලතම කණ්ඩායම වූ දකුණු අප්රිකාව ඒ වනවිටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියා.
කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව පන්දුවාර 50 අවසානයේ කඩුළු 7කට ලකුණු 271ක් ලබාගත්තා. හර්ෂල් ගිබ්ස් ලකුණු 101. ඩැරල් කලිනන් ලකුණු 50. වේගවත් අවසානයක් ලබාදුන් ජොන්ටි රෝඩ්ස් පන්දු 36කින් ලකුණු 39කුත් ලාන්ස් ක්ලූස්නර් පන්දු 21කින් ලකුණු 36කුත් වාර්තා කලා.
පන්දු යැවීමේදි ඩෙමියන් ෆ්ලෙමින් ලකුණු 57ට කඩුළු 3. සුපිරි පන්දු යැවීමක නිරතවූ ෂේන් වෝන් පන්දුවාර 10දී ලකුණු 33කට කඩුළු 2ක් දවා ගත්තා.
ලකුණු 272ක ජයග්රාහි ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි ඔස්ට්රේලියාවේ ආරම්භය අසාර්ථක වූයේ ඇඩම් ගිල්ක්රිස්ට් දෙවන පන්දුවාරයේදිත් මාක් වෝ හයවන පන්දුවාරයේදිත් දැවීයාම නිසා. ඔවුන් දෙදෙනාම රැස් කලේ ලකුණු 5 බැගින්.
12වන පන්දුවාරයේදී ඩේමියන් මාටින් ලකුණු 11කට දැවී යද්දී ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 48ට කඩුළු 3ක් ලෙස. රිකී පොන්ටින් සමග එක්වුණු නායක ස්ටීවි වෝ ලකුණු පුවරුව ඉහළ නංවමින් ඔස්ට්රේලියා ඉනිම ස්ථාවර තත්වයකට රැගෙන ආවා.
31 වන පන්දුවාරයේදී ඔස්ට්රේලියාව කඩුළු 3කට ලකුණු 152ක් ලබාගෙන සිටියා. ලාන්ස් ක්ලූස්නර් යැවූ එම පන්දුවාරයේ අවසන් පන්දුවට ස්ටීව් වෝ එල්ලකල පහර උඩපන්දුවක් ලෙස ඇදීගියේ ෂෝට් මිඩ්විකට් හි පන්දු රකිමින් සිටි හර්ෂල් ගිබ්ස් අතට.
උඩපන්දුව රැකගත් ගිබ්ස් ඒ සමගම පන්දුව උඩදමා දවාලීම සැමරීමට යද්දී පන්දුව අතින් ගිලිහී බිම වැටුණා. මේ වෙලාවේ ගිබ්ස් වෙත හැරුණු ස්ටීව් වෝ “Mate you just dropped the world cup” යනුවෙන් පැවසුවා.
විස්තර විචාරයේ සිටි ටෝනි ග්රෙග් මෙවැනි පහසු උඩපන්දුවක් ගිබ්ස් වැන්නෙක් අත්හැරීම අදහාගත නොහැකි බවත් මෙයින් තරගයේ ගමන්මග වෙනස් වන බවත් කියා සිටියා. හර්ෂල් ගිබ්ස් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවෙයි. එකල ගිබ්ස් ව හැදින්වූයේ ජොන්ටි රෝඩ්ස්ට පසු සිටින හොදම පන්දු රකින්නා ලෙසයි.
ලකුණු 69ක් ලැබූ රිකී පොන්ටින් සමග ලකුණු 126ක සබදතාවක් පැවැත්වූ වෝ මයිකල් බෙවන්ගේ ලකුණු 27ත් ටොම් මූඩි නොදැවී ලබාගත් ලකුණු 15ත් සමග පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්රාහි ලකුණ ඔහුගේ පිත්තෙන් ලබාගත්තා. ස්ටීව් වෝ පන්දු 110කදී ලකුණු 120ක් ලබාගත්තේ හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමගින්.
එම ජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ඔස්ට්රේලියාව සමත් වුණා. එහිදී නැවතත් ඔවුනට මුණගැසුණේ දකුණු අප්රිකාවමයි. ඉතිහාසගත තරගයක් වූ එම තරගය ලකුණු සමවී අවසන් වුනා.
නමුත් ඔස්ට්රේලියාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ සුපර් සික්ස් වටයේ තරගය ඔවුන් ජයගත් නිසා. ශුද්ධ ලකුණු වේගයට පෙර මුහුණට මුහුණ ප්රතිඵලය සලකා බැලූ නිසා ඔවුන් ඉදිරියට ගියා.
පසු කාලයකදී ස්ටීව් වෝ ප්රකාශ කලේ “You just dropped the world cup” යන්න මාධ්ය මගින් නිර්මාණය කළ එකක් බවත් තමන් ගිබ්ස් ට පැවසුවේ “You’ve just cost your team the match” යනුවෙන් බවත්. කෙසේ වෙතත් මාධ්යයෙන් ප්රචාරය වූ පාඨයට තමන්ද කැමැති බව ඔහු කියා සිටියා.
ලහිරු උදාන අබේසේකර



