1992 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුනේ ඔස්ට්රේලියාවේ සිඩ්නි ක්රීඩාංගණයේදී.
මූලික වටයේ තරගවලින් පසු ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි එංගලන්තයත් තුන්වෙනි ස්ථානයේ සිටි දකුණු අප්රිකාවත් මෙහිදී තරග වැදුනා. පලමුවරට ලෝක කුසලානයට එක්වූ දකුණු අප්රිකාව ප්රබල කණ්ඩායම් පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ මූලික වටයේ තරග 5ක් ජයගනිමින්.
වර්ෂාව නිසා තරගය ආරම්භවීම විනාඩි 10කින් ප්රමාද වුනත් පන්දුවාර ප්රමාණය අඩු නොකොට අහිමි වූ විනාඩි 10 විවේක කාලයෙන් අඩුකිරීමට තීරණය වුනා.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 45කදී කඩුළු 6ක් දැවී ලකුණු 252ක් ලබාගත්තා. වැඩිම ලකුණු ලාභියා වූ ග්රැහැම් හික් ලකුණු 83.තරගය පන්දුවාර 50 තරගයක් වුවත් දකුණු අප්රිකානුවන් නියමිත කාලය තුළ පන්දුවාර 50 සමිපූර්ණ නොකිරීම නිසා තරගාවලියේ නීති අනුව එංගලන්ත ඉනිම පන්දුවාර 45කට සීමාවුනා. දකුණු අප්රිකාවට දඩ මුදලක් නියම වුනා.
දකුණු අප්රිකාවේ ජයග්රාහී ඉලක්කය පන්දුවාර 45කදී ලකුණු 253ක් ලෙස දැක්වුනා. මෙය දකුණු අප්රිකාවට ඉතා වාසි සහගත තත්ත්වයක් වුනේ එංගලන්ත ඉනිම නැවැත්වූ අවස්ථාවේ පැවති ලකුණු ගණන පමණක් ඔවුන්ට ජයග්රාහී ඉලක්කය වීමයි. වර්තමාන ගණනය කිරීම් අනුව බැලුවොත් ඔවුන්ගේ ඉලක්කය පන්දුවාර 45කදී ලකුණු 273ක් විය යුතුයි.
දකුණු අප්රිකා ඉනිම වෙනුවෙන් ඇන්ඩෘෘ හඩ්සන් ලකුණු 46ක් ලබාගත් අතර ඉනිමට ජීවය එක්කල ජොන්ටි රෝඩ්ස් පන්දු 38කින් ලකුණු 43ක් ලබාගත්තා. 42වන පන්දුවාරයේ 5වෙනි පන්දුව යවා අවසන් වූ විට ලකුණු පුවරුව දැක්වුනේ දකුණු අප්රිකා ඉනිම කඩුළු 6කට ලකුණු 231ක් ලෙසයි. නොදැවී ක්රීඩාකරමින් සිටි බ්රයන් මැක්මිලන් ලකුණු 20කුත් ඩේව් රිචරිඩ්සන් ලකුණු 13කුත් ලබා සිටියා.
ජයග්රහණය සදහා පන්දු 13කින් ලකුණු 22ක් ලබාගත යුතුව තිබුනා. තරගය දෙපිලටම දෝලනය වෙමින් තිබුණු මෙි මොහොතේ එක්වරම වර්ෂාවෙන් බාධා ඇතිවුනා. පිතිකරුවන් දිගටම තරගය පවත්වාගෙන යාමට කැමැති වුනත් එංගලන්ත නායක ග්රැහැම් ගූච් ඊට අකමැති වුනා. ඒ අනුව විනිසුරුවන් තරගය අතරමඟ නැවැත්වූවා.
විනාඩි 12ක ප්රමාදයකින් පසුව නැවත තරගය ඇරඹෙනවිට සියල්ල උඩුයටිකුරුවී තිබුනා. දකුණු අප්රිකාවේ ජයග්රාහි ඉලක්කය දැක්වුනේ එක පන්දුවකට ලකුණු 21ක් ලෙස.
වර්ෂාවෙන් පසු ගණනයකිරීම්වලදී ඔවුන්ට පන්දු 12ක් අහිමිව තිබූ අතර ඉලක්කයෙන් එක් ලකුණක් පමණක් අඩුවී තිබුනා. සිඩ්නි ක්රීඩාංගණයේ ලකුණු පුවරුවේ මුලින් ඉලක්කය පන්දු 7 කදී ලකුණු 21ක් ලෙස දැක්වුනත් නැවත එය නිවැරදි කොට පන්දු 1කදී ලකුණු 21ක් ලෙස ප්රදර්ශනය කලා.
ක්රිස් ලුවිස් යැවූ අවසන් පන්දුවට මිඩ්විකට් කලාපයට තට්ටුවක් දමා එක ලකුණක් ලබාගත් මැක්මිලන් කදුළුපිරි දෙනෙතින් යුතුව ක්රීඩාගාරයට ගියා. දකුණු අප්රිකානුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොදවුනේ එහෙමයි.
එතැන් පටන් පැවති කිසිදු ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්රිකාව අසමත්වුනා. 2019 හැර අනෙක් සෑම වරකදීම ප්රබලතම කණ්ඩායමක් ලෙස ලෝක කුසලාන තරගාවලියට පැමිණෙන ඔවුන්ට හැමදාම අනපේක්ෂිත පරාජයකින් පසු තරගාවලියෙන් ඉවත්වන්නට සිදුවුනා. 1999 සහ 2015දී ලෝක කුසලානය තිබුණේ ඔවුන්ට අත පොවනමානයේ.
2003දී තම රටේම පැවති තරගාවලියේ සුපර් සික්ස් වටයට පැමිණීමටවත් දකුණු අප්රිකාවට නොහැකිවුණේ ශ්රී ලංකාව සමග පැවති තරගයේ දී වර්ෂාව නිසා තරගය නතරකරනවිට ඩක්වර්ත් ලුවිස් සංඛ්යාලේඛන වරදවා වටහාගැනීම හේතුවෙන් ලකුණු සමවීමෙන්.
ලහිරු උදාන අබේසේකර



