Tuesday, October 27, 2026
spot_img
HomeDomesticකැන්ගරුවන් මට්ටු කළ අපේ වීරයා

කැන්ගරුවන් මට්ටු කළ අපේ වීරයා

ජගත් ක්‍රිකට් පිටියේ නිරන්තරයෙන්ම තම දක්ෂතා එක ලෙස පවත්වා ගන්නා කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායම බව අවිවාදයෙන්ම සඳහන් කල හැකිය.වරින් වර යම් යම් පසුබෑම් වලට ලක් වුවද ඉතා කෙටි කලකින් නැවතත් සුපුරුදු තත්වයට පැමිණීමට ඔවුන් සමත් වේ.මේ වන විට වැඩිම ලෝක කුසලාන ජයගත් කණ්ඩායම මෙන්ම සෑම විටම ලොව පලමු ටෙස්ට් කණ්ඩායම් තුන අතර රැඳී සිටීමට සමත් වීම මගින් එය මනාව පැහැදිලි වේ.


70,80,90 දශක වල බ.ඉ.කොදෙව් කණ්ඩායමට හැර අනෙකුත් සෑම කණ්ඩායමකටම ඔස්ට්‍රේලියානුවන්ට ‌ අභියෝග කිරීමට කණ්ඩායම් මෙන්ම ක්‍රීඩකයින් සිටියේද ඉතාම අතලොස්සකි.එම අතලොස්ස අතරට එවකට ක්‍රිකට් ලොව ඉතාම ලාබාල කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේද එවැනි ක්‍රීඩකයකු සිටීම සැබවින්ම අපගේ රටට විශාල ආම්බරයකි.ඔහු වෙන කිසිවකු නොව අදටත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිම පිතිකරුවා ලෙස සැලකෙන අරවින්ද ද සිල්වාය.


1985 ජනවාරි මස 19 වනදා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙල්බර්න් හි එක්දින තරඟයක් පැවතියේ බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලිය යටතේය.මුලින් පන්දුවට පහර දුන් කැන්ගරුවන් පන්දුවාර 50 අවසානයේ ලකුණු 226ක් ලබා ගැනීමට සමත් විය.ලකුණු 227ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දෙමින් තම ඉලක්කය කරා ගමන් කරන බවක් දක්නට ලැබිණි.මුලු ලකුණු ගණන 161වන විට ලකුණු 48ක් ලබා සිටි රෝයි ඩයස් දුවද්දී දැවීයාමත් සමඟම ශ්‍‍රී ලංකාව සතුව තිබූ බලාපොරොත්ත තරමක් බිඳ වැටුණු අතර කැන්ගරුවන්ගෙ මුහුණු විකසිත වන්නට පටන් ගත්තේය.එහෙත් ගතවූයේ නිමේෂයකි.

ඉනිමේ 45 වන පන්දුවාරය යවමින් සිටි එවකට ඔවුන් සතුව සිටි සුපිරිම පන්දු යවන්නා වූ ජෙෆ් ලෝසන්ගේ පන්දුවකට තම සීමාවෙන් ඉදිරියට පැමිණි වයස අවුරුදු 21ක තරුණ කොලු ගැටයකු long off කලාපයට ඉහලින් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමත් සමගම ඇලන් බෝඩර් පුමුඛ කැන්ගරු කණ්ඩායම තුෂ්නිම්භූත විය.ඔහු අරවින්ද ද සිල්වාය.එලෙස ආරම්භ කල අරවින්දගෙ ප්‍රහාරය නතර කිරීමට ඉන්පසු කිසිදු පන්දු යවන්නකුට හැකි වූයේ නැත.රුමේෂ් රත්නායක සමඟ එක්ව තරඟය ජයග්රහණය කරා රැගෙන ගිය අරවින්ද පන්දු 37කදී වේගවත් ලකුණු 46ක් රැස් කලේය.මෙය අරවින්ද විසින් කැන්ගරුවන්ගේ ජයග්රහණයක් උදුරාගත් පලමු අවස්තාව වන අතර ශ්‍රීී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායම එරටදී පරාජය කල පලමු අවස්තාවද වේ.

1989 වසරේ ඉන්දියාවේ දී පැවති නේරු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ලැබුණු ඉලක්කය 223කි.මෙහිදී සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී පවා සටන අත් නොහැරී අරවින්ද කැන්ගරුවන්ට පහසුවෙන් තරගය ජය ගැනීීමට ඉඩ දුන්නෙ නැත.කෙසේ වෙතත් පුබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ තනිව සටන් කිරීමට නොහැකි වූ ඔහුට තරගයේ ජයග්රහණය තම මව්බිමට ලබා දීමට හැකි වූයේ නැත. ශ්‍රී ලංකා ඉනිමේ 9වන කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු ගණන 96කි.තරගයේ ජය කැන්ගරුවන් සතු වුවද තරගයේ වීරයා වූයෙ අරවින්දය.සෙසු පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබුණේ නම් මෙම තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි.


අරවින්ද සිල්වා යනු කවුරුන්ද යන වග ඔහු විසින් ඔස්ට්‍රේලියානුවන්ට මැනවින් කියා දුන් තරඟාවලිය ලෙස 1989 අගභාගයේ ඔස්ට්‍රේලියා පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හැඳින්විය හැකිය.ටෙස්ට් තරඟාවලියට පෙර පැවති තුන්දින තරගය දින දෙකකින් අවසන් වූයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි.මේ නිසා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයකු වූ සයිමන් ඔ ඩොනල් පවසා තිබුණේ අපරාදෙ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟයක් දුන්නෙ.දවස් පහක් ගහන්න එයාලට බැහැ.අපිට මේක දවස් තුනකට විතර අඩුකරන්න තිබුණා.යනුවෙනි.මේ නිසාම තමන් මේ තරගයට සහභාගී වූයේ කෙසේ හෝ ඔස්ට්‍රේලියාවට හොඳ පාඩමක් උගන්වනවා යැයි සිතාගෙනම බව අරවින්ද පසු කලෙක පවසා තිබුණි.


මෙය සිතිවිල්ලකට හෝ වචනයකට පමණක් සීමා වූයේ නැත.ඔහු එය ක්‍රියාවෙන්ම ඔප්පු කරනු ලැබුවේ දින එකහාමාරක පමණ කාලයක් කඩුල්ලෙ රැඳී සිටිමින් පන්දු 361කදී ලකුණු 167ක් රැස් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 418ක් ලෙස ඉහල දමමිනි.මෙය ශ්‍රී ලාංකික පිතිකරුවකු ඔස්ට්‍රේලියාවේදී ලබාගත් පළමු ටෙස්ට් ශතකයද වේ. අවසානයේදී තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු බිමේදී ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරඟ අතුරින් දෙවන ඉනිමට පන්දුවට පහර නොදුන් එකම ටෙස්ට් තරගය ලෙස එදා බු්ස්බේන් හි පැවති මෙම තරගය ඉතිහාසයට එක් වී අැත.මෙම තරයේ වීරයා ලෙස සම්මාන ලබා ගත්තේද අරවින්ද සිල්වාය. මෙම තරගයේ පමණක් නොව ශ්‍රී ලංකා පිල පරාජයට පත් වූ හෝබාර්ට් හි පැවති දෙවන ටෙස්ට් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීමටද අරවින්ද සමත් විය.අදටත් ඔස්ට්‍රේලියාවේදී පැවති ටෙස්ට් තරගයකදී හෝ තරගාවලියකදී තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා අරවින්ද ද සිල්වාම පමණි.


1992 අගෝස්තු මස 15 වනදා දිනය මෙරට ක්‍රිකට් වලට වැදගත් දිනයක් විය.ඊට 1987න් පසුව එනම් වසර 5කට පසුව ලංකාව තුල ජාතයන්තර ක්‍රිකට් තරඟයක් පැවැත් වූ දිනය වීම නිසාය.1992 ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පලමු එක් දින තරඟය කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.මෙහිදී මුලින් පන්දුවට පහර දුන් ඔස්ටේුලියානු පිල පන්දු වාර 50 දී ලකුණු 247ක් රැස් කලේය.වර්තමානයේදී නම් මෙය එතරම් ලොකු ලකුණු සංඛයාවක් නොවුනද එම යුගයේදී ,විශේෂයෙන් සුපිරි පන්දු බල ඇණියකින් සමන් විත ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායමක් සමඟ බලන විට මෙය ලොකු ඉලක්කයකි.එය මනාව සනාථ කරම්න් මුලු ලකුණු ගනණ 12ක් වන විට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලයම ආපසු ක්‍රීඩාගාරය වෙත ගොස් තිබිණි.කැන්ගරු ප්‍රහාරය කෙතරම් දරුණු වුවද අසංක ගුරුසිංහ සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගූ අරවින්ද පන්දු 105කදී හතරේ පහර12ක් සහ හයේ පහර 2ක්ද සහිතව ලකුණු 105 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්රහණය වෙත රැගෙන ගියේ වසර 5කට පසුව තම ප්‍රේක්ෂකයන්ට අමතක නොවන සිහිවටනයක් ලබා දෙමිනි.මෙය ශ්‍රී ලංකාව තුල ක්‍රීඩකයකු ලබා ගත් පලමු එක් දින ශතකයද වේ.මෙම ජයග්රහණය සඳහා අසංක ගුරුසිංහ ලබා ගත් අර්ධ ශතකය මෙන්ම නායක අර්ජුන රණතුංග ලබා ගත් වේගවත් ලකුණු 46ද ලොකු පිටිවහලක් විය.


ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති මීලග එක් දින තරගයේදීද අර්ධ ශතකයක් වාර්තා කරමින් තරගය ජයග්රහණයට දායක වූ අරවින්ද තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට අත්කර දීමේ පුරෝගාමියා බවට පත්විය.
අරවින්දගේ තුන් ඉරියව් දස්කම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වූ වටිනාම ජයග්රහණය වන්නේ 1996 ලෝක කුසලාන ජයග්රහණයයි.එ තරඟය පිලිබඳව බොහෝ දෙනෙකු දන්නා නිසා ඒ් ගැන වැඩි විස්තර සඳහන් කිරීමට අවශය නොවේ.මේ නිසා එම වසරේ දීම පැවති සිංගර් තරඟාවලිය පිළිබඳව සඳහන් කිරීම වැදගත් වේ.


මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය 1996 අගෝස්තු 30 වනදා ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි.මුලින් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඉලක්කය ලකුණු 229කි.මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය විසින් වේගවත් ආරම්භයක් ලබා දුන්නද එක්වරම ශ්‍රී ලංකා පිලේ කඩුලු කිහිපයක් බිඳ වැටීම නිසා වරෙක ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 81කට කඩුලු 5ක් ලෙසටය.සනත්,ගුරුසිංහ,අර්ජුන,හෂාන් ගේ කඩුලුද ඊට අැතුලත්ය.තත්වය මෙසේ වුවද තරඟය නරඹන්නට පැමිණ සිටිදහස් සංඛයාත ක්‍රීඩා ලෝලින් කිසිවකුත් තරගය පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරියා සේම ඔස්ටේුලියානුවන්ද දැන් ඉතිං මැච් එක අපේ අතේ යැයි කිසිවිටකත් සැහැල්ලුවට ගත්තේ නැත.ඊට හේතුව ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රධානම බලාපොරොත්තුව මෙන්ම ඔස්ටේුලියානුයන්ගේ ප්‍රධානම කරදර කාරයා තවමත් පිටියේ රැඳී සිටීමය.සිදු වූයේද එයමය.සුපුරුදු පරිදිම අරවින්ද එදිනද ඔස්ටේුලියානුවන්ගේ ජයග්රහණයට හරස් විය.සුපිරි ඔස්ටේුලියානු පන්දු බලඅැණිය ඉදිරියේ නොබියව පිත්ත හැසිර වූ අරවින්ද , රොෂාන් මහානාම හා එක්ව තරඟය ජයග්රහණය වෙත රැගෙන ගියේ නොදැවී ලකුණු 83ක් වාර්තා කරමිනි.


මෙම තරඟයේදී පමණක් නොව සැප්තැම්බර් 7 වනදා ඔස්ට්‍රේලියාව සමගම පැවති අවසන් මහ තරගයේදීද නොදැවී ලකුණු 75ක්ලබා ගනිමින්ශ්‍රී ලංකාවට සිංගර් ශූරතාව දිනා දීමට පුරෝගාමියා වූයේ අරවින්දය.


ඒ අනුව පලමු වරට ඔස්ට්‍රේලියාට එරෙහිව පිට පිට එක් දින තරඟ තුනක්(ලෝක කුසලාන අවසන් මහ තරඟය සහ සිංගර් තරගාවලියේ තරඟ දෙකක්) ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මෙම තරග තුනේදීම තරගයේ වීරයා වූයේ අරවින්ද ද සිල්වාය.එපමණක්ද නොව මෙම තරග තුනේදීම ඔහු නොදැවී සිටීමද විශේෂත්වයකි.


1999 වසරේ නුවර අස්ගිරිය ක්‍ීඩාංගනයේ දී පැවති ටෙස්ට් තරගයෙන් පලමු වරට ඔස්ට්‍රේලියාව පරදා ලබා ගත් ටෙස්ට් ජයග්රහණයට ද මූලික වූයේ අරවින්දගේ පිතිකරණයයි.එහිදි පන්දු යවන්නන් හොඳින් දක්ෂතා දැක් වුවද පිතිකරුවකු ලෙස සාර්ථක වූයේ අරවින්ද පමණි.ඔහුගේ පිතිකරණය නොවන්නට එදා එම ජයග්රහණය අපට අහිමි වන්නටද ඉඩ තිබිණි.


මෙතෙක් සඳහන් කල සියලුම ජයග්රහණ ඔස්ට්‍රේලියාවට අහිමි වූයේ අරවින්දගේ සුපිරි පිතිකරණය නිසාය.එහෙත් 2002 වසරේ සැප්තැම්බර් 27 වන දා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පැවති අයි.සී.සී ශූරයින්ගේ කුසලාන අවසන් පූර්ව තරගයේ ජය ඔස්ට්‍රේලියාවට අහිමි වූයේ අරවින්දගේ සුපිරි පන්දු යැවීම නිසාවෙනි.එහිදි මුලින් පන්දුවට පහර දුන් ඔස්ටේුලියානු පිලේ අාරම්භක පිතිකරුවන් විසින් ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පලමු පන්දුවාර 5 තුලදී ලකුණු 45ක් ඔවුන්ගෙන් උදුරා ගත්තේය.මෙහිදී පන්දුව අතට ගත් අරවින්ද තම පලමු පන්දුවාරයේදීම මැතිව් හේඩ්න්ගේ කඩුල්ල දවා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම සුනු විසුණු කර දැමීම අාරම්භ කලේය.ඉන් පසු කැන්ගරුවන්ගේ කඩුලු එක පිට එක බිඳ වැටීමට පටන් ගත් අතර ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 162ක් පමණි.එදා අරවින්දගේ පන්දු යැවීම සටහන් වූයේ 10-02-16-01ක් ලෙසින්ය.


1985ලාබාල අරවින්දට,1996 තරුණ අරවින්දට තිබූ බයම ඔස්ටේුලියානුවන් 2003දී වයස 37ක් වූ අරවින්දටත් තිබූ බව පැහැදිලි වන්නේ එවර ලෝක ශූරතා තරගාවලියේ අවසන් පූර්ව තරගයේදීය.එදා ලකුණු 212ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා පිලේ කඩුලු එක පිට එක බිඳ වැටුනද ඔස්ට්‍රේලියානුවන් කිසි විටෙකවත් තරඟය සැහැල්ලුවට නොගත් අතර එයින් දැඩි උද්දාමයටද පත් වූයේ නැත.ඔවුන් එසේ උද්දාමයට පත් වූයේ ඉතා අවාසනාවන්ත ලෙස අරවින්දගේ කඩුල්ල දුවද්දී දැවීයාමකට හසුවීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ පසුවය.එම කඩුල්ල බිඳ වැටීත් සමගම ඔස්ට්‍රේලියානුවන් ප්‍රීති ඝෝෂා පවත්වමින් දැඩි උද්දාමයට පත් වූයේ දැන් ඉතිං මේ තරඟය පමණක් නොව ලෝක කුසලානයද අපේ අතේ යැයි කියන්නාක් මෙනි.සැබවින්ම 1996 දී මෙන්ම 2003දීද තමන්ගේ ලෝක කුසලාන ජයග්රහණය තමන්ගෙන් උදුරා ගැනීමේ හැකියාව තිබූ තිබූ එකම ක්‍රීඩකයා අපේ අරවින්ද පමණක්ම බව ඔස්ට්‍රේලියානුවන් ඉතා හොඳින් දැන සිටි බව මෙයින් පැහැදිලි වේ.

සමන් රණවකආරච්චි 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments