වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජයග්රහණයකින් ආරම්භක කිරීමට අද ( 5 වැනිදා ) සමත් විය. මෙම තරගය අහ්මදාබාද් නරේන්ද්ර මෝදි ක්රීඩාංගණයේදී පැවැත්විණ.
ජයග්රහණය සදහා ලකුණු 283ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 36.2කදී කඩුල්ලක් පමණක් දැවී සිය කඩයිම පහසුවෙන්ම පසුකර ගියේය.
එංගලන්ත කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දුන් ඩෙවෝන් කොන්වේ සහ රචින් රවීන්ද්ර දෙවැනි කඩුල්ල සඳහා පන්දු 211කින් ලකුණු 273ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.
මෙවර තරගාවලියේ මංගල ශතකය වාර්තා කල ඩෙවෝන් කොන්වේ පන්දු 121කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 19ක් සමගින් නොදැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් විය. ඔහුට නොදැවිණි ඉනිමක් ක්රීඩාකරමින් සිය එක්දින ක්රිකට් දිවියේ මංගල ශතකය ලබාගත් රචින් රවීන්ද්ර පන්දු 96කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් සමගින් නොදැවි ලකුණු 123ක් රැස් කිරීමට සමත් විය.
කාසියේ වාසිය ජයග්රහණය කළ නවසීලන්ත නායක ටොම් ලේතන් පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කල අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 282ක් පමණි.
එංගලන්ත ඉනිම වෙනුවෙන් ජෝ රෑට් ලකුණු 77ක් සහ නායක ජොස් බට්ලර් ලකුණු 43 බැගින් රැස් කිරීමට සමත් වූහ. එංගලන්ත ඉනිමේ සියලුම පිතිකරුවන් ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් වූ අතර එය එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ ඉනිමකදී පිතිකරුවන් 11 දෙනාම ලකුණු 10 හෝ ඊට වැඩියෙන් රැස්කළ පළමු අවස්ථාව බවට පත්විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි ලකුණු 48කට කඩුලු 3ක් බිද දමද්දී, ග්ලේන් පිලිප්ස් සහ මිචෙල් සැන්ටර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.



